"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගී පද අරුතක් - නිල් නුවන් පෙනෙන අඳුර ගලා...






ආදරය පිළිබදව අප අසා ඇති ගීතයන් ගත් කල මේ ගීතය යම් විශේෂත්වයක් තිබෙනවා... ප්‍රවීණ ගීත විචාරකයින්ට අනුව සිංහල සුභාවිත සංගීතයේ ඇති ආදරවන්තයෙක් අවන්කවම සිය හැගීම් ප්‍රකාශකරන ගීයක් ලෙස තමා මේ ගීතය හැදින්වෙන්නේ.. ඊට හේතුවන ප්‍රභලතම සාධකය වන්නේ සිය ආදරවන්තිය නිසා ආදරවන්තයෙකුගේ සිතේ නැගෙන ආදරය, ශෘංගාරය නිර්ව්‍යාජව ප්‍රකාශකිරීමක් මේ ගීතයෙන් සිදුවීමයි.... 


තවත් කාරණයක් වන්නේ මෙහි ආදරවන්තයා ආදරය කරන්නේ සිය ආදරවන්තියටද..? ආදරවන්තිය කරගැනීමට අදහස් කරන කාන්තාවකටද..? නැතහොත් සිය මනෝම ස්ත්‍රියකටද යන්න පැහැදිලි නැත.. ඕනෑම රසිකයකුට සිය සිතුම් පැතුම් වලට අදාලව මෙම ගීතය අනුරූපීකරගත හැක...

සිය ආදරවන්තිය දැකීමත් සමග තමන්ගේ සිතේ ජනිතවන ප්‍රේමණීය සිතුවිල ඔහු අපවෙත ඉදිරිපත් කරන්නේ පරිසරයේ අලංකාරයන් ඔස්සේ.. පරිසයේ සුන්දරත්වය ඔහු ඉතාමාත් සූක්ෂම හා සියුම්ලෙස සිය සිතෙහි පොපියන ප්‍රේමණීය හැගුම් සමග ගලපනවා...

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර නුඹෙ නමින්

නුරා අඳුරින් වැසී ගිය නීල දෑස, මල් සුවඳ මුසු මඳනල, වැහි වලා යටින් එබෙන පුරහඳ, සඳ සෙවණැල්ල පතිත වූ වැව් දිය, ආදි පාරිසරික සෞන්දර්යය ආලවන්ත හැඟීම් මනාව සංකේතවත් කරයි.

එහෙත් මේ රමණීය හැඟීම් සමුදාය ඔහු ඇයට ප්‍රකාශ කර නොමැත්තේ ය. අවට පරිසරයම ආදරයකට පසුබිම තනද්දී ඔහුට ඇති එකම අපහසුව වන්නේ ආදරය ප්‍රකාශ කර ගැනීමයි. ආදරය සතු මේ ගොළු බව එක්තරා මිහිරියාවකි. හැටේ දශකය තුළ කරුණාසේන ජයලත් ශුරින් ගේ ගොළු හදවත නවකතාව එතරම් ජනප්‍රිය වූයේ ද මේ ගොළු බවට ජනතාව ප්‍රිය කළ බැවිනි.

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ
පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා...

අඹ ගස්වල මල් පිපී ඇත. ඒ මල් වටා සමනලු සරති. තමා වඩාත් ඇළුම් කරන ඒ කිරි කවඩි සිනාවේ ප්‍රාතිහාර්යය අත්පත් කරගැනීමට ඔහුගේ සිත පෙරුම් පුරයි. එහෙත් ඒ සිත මේ මොහොතේ ගොළු වී තිබේ. තමා ළඟින් ම ඇසුරු කරන තරුණියකට ආදරය ප්‍රකාශ කරන්නට යාමේදී යෞවනයකු තුළ හට ගන්නා මානසික ආතතියක් එහි මැනවින් ප්‍රනිර්මාණය වී තිබේ.

එහි දී ද ඒ තරුණයා වටා ඇත්තේ සුන්දර පරිසරයකි. ඇය ගං ඉවුරක් අසබඩ ඔහු අසලින් වාඩි වී සිටින්නී ය. සීතල සුළඟක් හමා එයි. සුළඟට විසිරුණු ඇගේ කෙහෙරැළි ඔහු ගේ මුහුණේ ගැටෙයි. ආලය ප්ර කාශ කිරීමේ මානසික උද්දීපනයක් තරුණයා තුළ හට ගනී. එහෙත් සිදුවන්නේ කුමක් ද?

නිහඬ ප්‍රේමයේ ස්වභාවය එයයි. මේ තරුණිය මොහුගේ සිතුවිලි උදේ සවස උද්දීපනය කරයි. දයාව, කරුණාව, රාගය, සම්මිශ්‍ර  හැඟීම් සමුදායකින් ඔහුගේ හදවත කිතිකැවෙයි. දැන් ඉතින් ගැලවීමක් නොමැත.

ළැම හසුන් රැඟුම් පා
මනමත් කළා දෝ
රත තොලින් තොලට දී
සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා

ඇගේ සුන්දර ළැම ඔහුගේ දෑස් ඉදිරියේ රැඟුම් පායි. ඇගේ දෙතොලෙහි උරුමය ඔහු ප්‍රාර්ථනා කරයි. තවදුරටත් ඇගෙන් තොර ලෝකයක් ඔහුට නොමැත.

රෝහණ වීරසිංහයන් මේ පදමාලාව මැනැවින් ග්‍රහණය කොට සුගායනය පිණිස අති මධුර තනුවක් නිර්මාණය කර තිබේ. ඒ තනුව රස විඳින විට මා කොතෙක් රෝහණයන් ගේ තනු අසා තිබුණ ද විශ්මයක් හට ගනී. එඩ්වඩ් ජයකොඩි ගේ හඬට මම කවදත් ප්‍රිය කරමි. නිවැරැදි ස්වර තල මෙන්ම පැහැදිලි ගායනයක් ඔහු සතුය. මේ සියල්ල ඒකරාශි වූ විට අති මධුර ගීයක් රසිකයාට දායාද වී තිබේ



සමුගන්න අවසරයි..





ගව් ගනන් බොහෝ දුර
කොහොම මා වෙන් වෙම්ද
හැර දමා සොඳුරුතම
තෙවසරක් බැඳුනු පෙම

හදේ ඉඩ ඇති තැනෙක
නුඹ හොරෙන් සඟවාන
කාලයත් ඇවිත් දැන්
මගෙ කඳුළු හංඟන්න

ඉතිරි අවසන් දෙසුම
ඉදිරි දින දෙක තුනක
නොඑන මුත් එදින මම
සෙනෙහසයි නුඹට මම

මුර ගගා නොකීවද
කුර ගගා ලියලු පෙම
දෙනෙත් බොඳ නොකරයිද
කුමරි සරසවි කොමළ.....