"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගීයක සුලමුල 6- අන්දර යායේ වැව් තාවුල්ලේ..සක්මන් කරනා අප්පච්චි...


අද මම කියන්න යන්නේ ගොඩ දෙනෙක්  ආසකරන ගීතයක් හැදුනු විදිය ගැන.ගීතය තමයි අන්දර යායේ වැව් තාවුල්ලේ කියන දිවුල්ගනේ ගායකයා ගායනා කරන මමත් පුද්ගලිකව ගොඩක් කැමති ගීතය.මේ ගීතය ලියලා තියෙන්නේ කුමාර ලියනගේ කියන ගීපද රචකයා.මියුරු තනුව රෝහන ධර්මකීර්ති.

අන්දර යායේ වැව්  තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී

වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා

තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා


මම අහලා දැන ගත්තු විදියට ගී පද රචකයා රුහුනේ.රුහුනේ කොහෙන්ද අන්දර යායවල් ..වැව් තාවුලු..ගීතය ගීපද රචකයාගේ අත්දැකීමක් නම් එහෙම වෙන්නේ කොහොමද?මේ ගීතයට ගොවිතැන වෙනුවෙන් ජීවිතය කැපකරපු , තම දරුවන් වෙනුවෙන් අපරිමාන කැපකිරීම් කරපු රජරට ආදරනීය පියෙකුගේ ගති ලකුනු කියැවෙන්න කරුනු කාරනාත් යෙදුනු හැටිත් හරිම සුන්දරයි..ගී පද රචක කුමාර ලියනගේ මහත්තයගේ පියා ගුරුවරයෙක්.ඒ වගේම ගොවියෙක්.එතුමගේ පියා වැඩකටයුතු ඉවර කරලා විවේක ගන්න දික්සඟලාවක වැතිරිලා ඉන්න හැටි තමයි ගීතයේ මුල් කොටසට එක්කසු කරලා තියෙන්නේ. දික්සඟලා පු‍ටු කියන්නේ ලනු වලින් වියපු ඉස්සර කාලේ ගැමි ගෙවල් වල තිබුනු හාන්සි පු‍ටුවක්..ගීතයේ මුල් පදපෙලේ ඇතුලත් වෙලා තියෙන්නේ "දික් සඟලාවේ දිවා විහාරේ වැඩ සිටිනා අපේ අප්පච්චි..." ඒ මේ පද පෙල ලියපු කුමාර ලියනගේ ගේ තමන්ගේ පියා පිලිබඳ මතකය.

කොහොම හරි මේ ගීතය ගයන්න කරුනාරත්න දිවුල්ගනේ ගායකයට දුන්නහම ගීතයේ පද බලලා දිවුල්ගනේ කියලා තියනවා "අනේ අපේ අප්පච්චිලා කවදාවත් දික් සඟලා පු‍ටුවල වැතිරිලා හිටියේ නැ....කැති පොරෝ අරගෙන..අන්දර කැලැ බිඳ දාලා දරුවන්ට කන්න දීපු අය.." ඉතින් මේක ගයන්න ගායකයට හරියට ඇඟට එන්නේ නෑලු." මේක මට දැන්නේ රජරට සේවයේ ගීපද රචකයෙක් වන දම්මික බන්ඩාරයන් ලියපු ගීතයක් විදියට" කියලා මෙහෙම කවියක් මතක් කරලා දීල තියනවා

අන්දර කැලේ මැද හිනැහුනු අප්පච්චි
අන්දර මලේ සුවඳයි   මට    අප්පච්චි
අන්දර කැලේ හැංගී ඉඳ       අප්පච්චි
ඈත ඉඳන් අඬගහපන්         අප්පච්චි

ගායකයා මේ විදියට එයාගේ අදහසුත් එකතු කලාලු පුලුවන් නම් මේක මේ  විදියට වෙනස් කරල දෙන්න කියල .ඒත් ගීපද රචකයා ඒකට ඒතරම් කැමති වෙලා නැ..කොහොම කොහොම හරි අන්තිමට  දික්සඟලාවේ දිවා විහාරේ වැඩසිනා අපේ අප්පච්චි කියන පද පේලිය රචකයාගේ අත්දැකීමෙන් වෙනස් වෙලා ගායකයාගේ කැමැත්තට අනුව අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී කියලා වෙනස් වෙනවා.

මේ ගීත්යට ගීයට තනුව යොදපු රෝහන ධර්මකීර්ති මහතාගෙ පැත්තෙනුත් අනුවේදනීය කතාවකින් ගීතයට සම්බන්ද වෙනවා.මේ ගීතයට තනුව සකස් කරන්න ගීපද පෙල එතුමට ලැබෙනකොට එතුමා ඉඳල තියෙන්නේ කනගා‍ටුදායක තත්වයක.ඒ එතුමගේ පියාගේ අභාවය සිදුවෙලා ඒ කටයුතු අවසන් උනු සංවේදී මොහොතක.කෙසේ වෙතත් පද රචකයා තමන්ගේ පියා මියැදෙන වෙලේ ලංකාවේ ඉදලා නැ.පිටරට සංචාරයකට සහබාගි වෙලා ඉඳලා තියෙන්නේ.ඒ හේතුව නිසා තමන්ගෙ පියාගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ද වෙන්න එතුමට හැකිවෙලා නැ.මේ කරුනු කාරනා නිසා පද රචකයා ගොඩක්ම කලකිරිලා ලංකාවට ආපු වෙලේකයි මේ පද පේලිවලට  තනුව නිර්මානය කරන්න ලැබිලා තියෙන්නේ.
එතුමා කියන විදියට එතුමන්ගේ පියා පිලිබඳව මතකය අවදි කරන්න බටනලා වාදනය උපයෝගී කරන් තියනවා.සමස්ත තනුව පුරාවටම එතුමගේ පියා පිලිබඳව එතුමට දැනුනු සංවේගය සහ ගෞරවය මුසු මතකය තනුව තුලින් මතු කරන්න එතුමා උත්සහ කරලා තියනවා.එතුමා කියන විදියට මේ ගීතය මෙතරම් සාර්තක වෙලා තියෙන්නේ පිය සෙනෙහසින්ම උපරිමයෙන්ම දැනුනු මොහොතක නිර්මානය උනු නිසා.

කොහොම උනත් මම හිතන විදියට ගායකයා, ගී පද රචකයා, තනු රචකයා කියන තුන් දෙනාගෙම අත්දැකීම් දැනීම් සංවේදීතාවන් එකට එකතු උනු නිසා ගීතය වඩාත් දැන්නෙන්න නිර්මානය වෙලා තියනවා.ඒ වගේම මේ ගීතය විඳින පිරිස ගොඩක් වැඩියි.ඒ බොහොමයක් පුතුන් දායාද කල පියවරුන් "ඒ දඬු මං බැන්ද...සත්කුලු පව් බිඳ...  " තම පුතුන් රජවරුන් කරවා , ඒ දෙස බලා නිහතමානීව ස‍තු‍ටු උනු පියවරුන් නිසාවෙන් වෙන්න ඇති..


ගී පද අරුතක්- රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානේනි....


මම ගොඩක් කාලයක ඉදන් බලන් හිටපු දවසක් උදා උනා.නන්දා මාලිනියන්ගේ ඒක පුද්ගල සංගීත සම්භාශනය ස්වේත රාත්‍රිය රත්නපුර පුරහලේ ගොඩක් සාර්තක විදියට පැවැත්තුනා.සුරේශ් මාලියැද්දගේ සංගීතයට නන්දා මාලිනියන්ගේ මියුරු ස්වරය පුරා පැය දෙකකට ආසන්න කාලයක් .කාලය ගෙවී ගියා දැනුනෙවත් නැතුවම.

කොහොම උනත් මම අද ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි කියන ගීතය..මේ ගීය රචනා කරල තියෙන්නේ සුනිල් ආරියරත්නයන්.

මට හිතෙන විදියට මේ ගීතය ලියැවිලා තියෙන්නේ ඒ කාලයේ රට තුල තිබුනු වාතාවරනය මුල් කරගෙන.රුවල් නැවකට නායකත්වය දුන්නු නාවිකයෙක්ට තම ආදරනීය සාමාජිකයෙක්  කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා ගොඩබිමකට යන්න කියලා.රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ පැවතුනු යම් කන්ඩායමකට මුහුන දෙන්න උනු තත්වයක් සහ එම සමාජය තුල  නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ.

ගීතයේ මුල් පද පේලි ගත්තොත්

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
නොගිලී දල රල පෙල අතරේ...
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ....

ගීතයේ පලමු වැනි අන්තරා කොටස

දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
ඉ රුනු  රුවල් රෙදි දවටා තබමින් උනුසුම
මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින
දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම්  හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස ‍රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්..

"දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.."
"ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.."

කොහොම උනත් පද රචකයා කියන හදන්නේ කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ..

ගීතයේ දෙවෙනි අන්තරා පේලියෙත් රචකයා කියන්න උත්සහ කරන්නේමුලින් කියන්න හදපු දේමයි.මේ කොටසේ  රචකයා පද ගලපා තිබෙන හැටිනම් විශිශ්ටයි.පද පේලි වලින් ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක  චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැ‍ඟෙනවා..

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට
ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ,මේ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා..

කොහොම උනත් මේ ගීතයේ අර්තය ගැන මට හිතෙන විදියට පුංචි අදහසක් දෙන්න පුලුවන් උනා කියලා හිතෙනවා.ගීතය ඩවුන්ලෝඩ් කරනවා නම් මෙන්න ලින්ක් එක...හැමෝටම සුභ දවසක්..මම ගියා ජයශ්‍රී...